කතරගම රූමතිය ඝාතනය

එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ – සිදුවුණු සිද්ධියක් මේ අපේ ලංකා දීපයේ
රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසුව දේශයේ – වුණු අපරාධය පවසමි ශුද්ධ භූමියේ

ඇන්ටන් ජෝන්ස් මහත්මයාගේ මේ ගීතය ඇහෙද්දීම ඔයාලට මතක් වෙනවා ඇති මේ අවාසනාවන්ත කතාව මොකක්ද කියන එක වග. ඔව්, ඒ කතරගම රූමතිය, එහෙමත් නැත්තම් ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ ඝාතනය.

ප්‍රේමවතී මනම්පේරි පවුලේ වැඩිමහලායි. ගල් පඩි පේළිය වගේ නංගිලා මල්ලිලා එකොළොස්දෙනෙක් ඇයට හිටියා. දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කරපු ප්‍රේමවතී මුළු ගමේ ම සිටි ආදර්ශවත් තරුණියන් අතුරින් කෙනෙක්. වනජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවකු විදියට රැකියාව කරපු හෙන්ද්‍රික් මනම්පේරි හා ලීලාවතී උබේසිංහ දෙපළ මේ දරුවන් හැමදෙනාම රැක බලාගත්තේ බොහොමයක් දුෂ්කරතාවයන් මැද්දෙයි.

1971 අවුරුද්දේ දී ප්‍රේමවතී කතරගම බක්මහ අවුරුදු කුමරිය විදියට කිරුළු පැළඳුවා. ඒ කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට තිබුණු අවුරුදු උත්සවයේදී. බොහොම හැඩකාරියක් වුණු ඇය දිහා පිරිමින්ගේ දෑස් යොමුවුණේ ඉබේට ම. එවකට කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාත් මේ අතරින් එක්කෙනෙක්. උත්සවය ඉවර වෙලා දින කිහිපයකට පස්සේ, සිවිල් ඇඳුමින් සැරසුණු ඔහු ඇගේ ගෙදරට ආවා.

තමන් ව ආශ්‍රය කරන්න කැමති බව පවසන මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගැන ප්‍රේමවතී පසුවුනේ අකමැත්තෙන්. ඒ නිසා ඇය කිව්වේ ඒ පිළිබඳ ව තමන්ගේ දෙමාපියන්ගෙන් අහන ලෙසයි. තමන්ගේ ආශාවන්ට ඇය නොනැමෙන තේරුම් ගත්ත මේ පොලිස් නිලධාරියා, ඇගේ නිවසින් පිටවුණේ ලොකු කෝපයකින්.

මේ 71 කැරැල්ල සිද්ධවුණු සමයයි. කතරගම ප්‍රදේශය අත්පත් කරගෙන ඉඳපු කැරලිකරුවෝ, හමුදාව එද්දී ටිකෙන් ටික පසු බැස්සා. කට්ටිය කියන විදියට, මොවුන්ට අවශ්‍ය බෑග් වගේ දේවල් මහලා දෙන්න ප්‍රේමවතී ඇතුළු තරුණියන් කිහිපදෙනෙක් ඉදිරිපත්වෙලා තියෙනවා. මේ ගැන දැනගන්න ලැබුණු පොලිසියේ ලොකු තැන, ප්‍රේමවතී ව අත්අඩංගුවට ගන්න නියෝග කළේ, ඇගෙන් පළිගැනීමේ චේතනාවත් එක්කමයි.

පන්සලේ පවත්වපු පන්ති ගැන අසමින්, නොකළ දෙකට ඇයව වරදකාරිය කළ පොලිස් ලොක්කා ඇතුළු ඔහුගේ සහචරයින්, ඇයට පහර දුන්නා. කාමරයක් තුළ ඇයව සිර කරපු ඔවුන්, ඉන්පස්සේ ඔවුන්ගේ පහත් ආශාවන් ඇගෙන් සපුරාගන්නත් පෙළඹුණා.

විසි දෙහැවිරිදි වියේ ඉඳපු ප්‍රේමවතීගේ අවසන් හෝරා කිහිපය ගෙවුණු විදිය ඇහින් දැකපු, අදටත් ජීවතුන් අතර ඉන්න පුද්ගලයා වන්නේ හම්බන්තොට වනජීවී භාර නිලධාරී වන ඩෙස්මන් වයිට් මහත්මයායි. ප්‍රේමවතීගේ පියා ඔහු යටතේ වැඩ කළ අයෙක්. යාල වනෝද්‍යානයේ වැඩ භාරගන්නට යන අතරතුරදී, ඔහු කතරගම පොලිසියටත් ගොඩවුණා. දරුණු වද හිංසාවලට ලක්වෙලා ඉඳපු ප්‍රේමවතී ව ඔහුට දැකගන්න ලැබුණේ ඒ මොහොතේදීයි. එතැන ඉඳපු පොලිසියේ සහ හමුදාවේ අය ඇයව හැඳින්වූයේ “අපිව මරන්න ආව කැරලිකාරියක්” විදියට.

හමුදාවේ ලුතිනන්වරයාගේ විධානය පිට, ප්‍රේමවතීට නිරුවත් ව කතරගම මධ්‍යයේ ඇවිදින්න සිද්ධවුණා. ඩෙස්මන් වයිට් මහත්මයා කියන විදියට, ඇය මියගිහින් තියෙන්නේ ඇයට එල්ලවුණු තුන්වන වෙඩි පහරිනුයි.

අමනුෂ්‍යයෙකුගේ තිරිසන් බවට අවනත නොවීම නිසා, ප්‍රේමවතී මනම්පේරිට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here